උදේම අවදි වී ෆේස්බුක් නොයා වගා බිමට යන ප්‍රමෝදි


 පොළොන්නරු දිස්ත්‍රික්කයට අයත් ඇළහැර අමුණට නුදුරින් පිහිටි බකමූණ ගම, වසරේ වැඩි කාලයක් බැටකන්නේ රජරට හිරුගෙනි. නමුත් ඒ ගිනියම හූනියමක් කර නොගත් බකමූණ ගම්වැසියන්ගේ අදත් ප්‍රධාන ජීවනෝපාය කුඹුරු හා හේන් ගොවිතැනය. ඒ නිසාම බකමූණ ගමට එදා මෙන්ම අදත් කුඹුරු හා හේන්වලින් අඩුවක් නැත. අඹන් ගඟේත් ඇළහැර අමුණේත් පහස ලබමින් ඒවා මහ කන්නයටත් යල කන්නයටත් නොවරදවාම ඵල දරන්නේය. ඒ තෙමසක් තිස්සේ අව්වැසි නොතකා  මහපොළොව හා පොරබැඳි ගම්මුන්ගේ වෙහෙසට සාධාරණයක් ඉටුකරමිනි. දහසකුත් එකක් බාධා මැද්දේ එසේ නෙළාගත් අස්වැන්න මේ දේසේ වැසියන්ට ඇති මහාර්ඝතම වත්කමයි. එවැනි වත්කමකට උරුමකම් කියනා විසිහැවිරිදි තරුණියක් ද බකමූණ ගමේ සිටින බව පසුගිය දිනෙක අපට දැනගන්නට ලැබුණි. ඈ ප්‍රමෝදි කෞශල්‍යා ය.

වැව් බැඳි රට කුඹුරු සිසාරා හමන කාටුව ගතෙනුත් දහසකුත් පිරිපත සිතෙනුත් දරාගෙන දිවිතකා කුඹුරු කොටන ප්‍රමෝදිගේ කතාවයි මෙතැන් සිට අප ලියන්නේ.

ප්‍රමෝදි මෙලොව එළිය දුටුවේ 2005 වසරේය. එදා පටන් ප්‍රමෝදිට මලක් මෙන් පිපෙන්නට වාරුවක් වී ඇත්තේ ඇගේ අත්තම්මාත් සීයාත්‍ ය. ඒ වෙනුවෙන් ඒ දෙපළට වත්කමක් කියා දෙයක් තිබුණානම් ඒ හේන් හා කුඹුරු ගොවිතැනෙන් උපයාගත් යමක් පමණි.

“මට තව අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඒ අක්කලා දෙන්නවත් පුළුවන් විදියට බලාකියාගත්තේ මගේ ආච්චියි සීයයි. අපි තුන්දෙනාවම ඉස්කෝලේ යවලා  අපිට හොඳට උගන්නන්න ඒ දෙන්නා නොකළ දෙයක් නෑ. අද අපි යම් තැනක ඉන්නවා නම් ඒ ඉන්නේ අපේ ආච්චියි සීයයි එදා ඒ කරපු කැපකිරීම්වලට පිංසිද්ධ වෙන්න.”

එසේ අනේකවිධ දුක්ගැහැට විඳ තම කරගැට උස්මහත් කළ අත්තම්මාත් සීයාත් කෙදිනක හෝ සැපෙන් සුවෙන් තබන්නට ප්‍රමෝදි කුඩා කළ පටන් සිහිනයක් දුටුවාය. ඒ වෙනුවෙන් ඉගෙනුමෙන් ඉහළට යන්නට සිතා සිටියත් උසස් පෙළෙන් පසු ඇගේ ඒ හීනෙට වැටබැඳුණේ ආර්ථික ගැටලු නිසාය.

“මම සාමාන්‍ය පෙළ සමත් වෙලා ඊටපස්සේ කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. ඒත් විශ්වවිද්‍යාල වරම් හිමිකරගන්න තරම් මගේ උසස් පෙළ ප්‍රතිඵලය ප්‍රමාණවත් වුණේ නෑ. දෙවනවර උසස් පෙළට ලියන්න ඕනෑකමක් තිබුණත් ආර්ථික ප්‍රශ්න නිසා ඒකට ඉඩක් ලැබුණේ නෑ.”

ඒ නිසා ප්‍රමෝදි කළේ රැකියා කිහිපයක් සඳහා අයැදුම් කිරීමයි.

“ඒ වුණත් ආච්චියි සීයයි ගෙදර තනි කරලා දාලා දුර පළාතක රැකියාවකට යන්න මට හිත දුන්නේ නෑ. අපිට බැරි කාලේ අපිව තනි නොකරපු ඒ දෙන්නව ඒ දෙන්නට බැරි කාලේ තප්පරේකටවත් තනි කරන්න මට ඕන වුණේ නෑ. මොකද ඒ වෙද්දි මගේ සීයගේ ඇස් දෙකම සුදෙන් වැහිලා. ආච්චිටත් වෙනදා වගේ අතපය වෙහෙසලා වැඩ කරන්න බෑ. ඒ නිසා ගෙදර ඉඳන් ඒ දෙන්නව බලාගන්න මම තීරණය කළා. ඒ ගමන් ආදායමක් ලබාගන්න වගා කරන්න පටන්ගත්තා. ඒ වගා කරන ගමන් ගත්ත වීඩියෝ එකක් මම පේජ් එකක් හදලා මුහුණුපොතට මුදාහැරියා. ඒත් එක්ක තමයි ගොඩක් අය මාව අඳුරගත්තේ.”

ප්‍රමෝදිගේ ගොවිපොළේ වැඩි වශයෙන් වැඩෙන්නේ වම්බටු, බණ්ඩක්කා, මුරුංගා ආදියයි. එම වගාවන් සඳහා  නිසිලෙස පාත්ති සැකසීම සේම නිසිකලට පොහොර යෙදීමත් සිදුකළ යුතු නිසා ප්‍රමෝදි ඊට අවශ්‍ය දැනුම හා උපදෙස් ලබාගන්නේ යූටියුබ් ටියුටෝරියල් නැරඹීමෙනි.

“ඊට අමතරව තව මොනවහරි දෙයක් දැනගන්න ඕනෑ වුණොත් මම ආච්චිගෙන් හරි සීයාගෙන් හරි අහනවා. එහෙම අහගෙන තමයි මුලින්ම නියරක් බඳින්න ඉගෙනගත්තේ. ඒ නිසා නියර බඳින්න, වී ඉහින්න වගේම ගොයම් කපන්නත් මට පුළුවන්. ඒ අතරේ මුරුංගා වගාවේ නියමිත කාලෙට ගස් කප්පාදු කරන්න සීයට බැරි නිසා මම තමයි ඒක  කරන්නේ. ඊට අමතරව මේ දවස්වල මම බණ්ඩක්කා වගාවක් කරගෙන යනවා. සාමාන්‍යයෙන් බණ්ඩක්කාවල අස්වැන්න මාස දෙකකින් තුනකින් නෙළාගන්න පුළුවන් නිසා ඊළඟ ජනවාරි මාසේ කොමඩු වගාවක් පටන්ගන්න තමයි මගේ සැලසුම. මේ දවස්වල වැහි කාලෙ නිසා ලොකුවට වගා කරන්න යන්නේ නැහැ.”

ප්‍රමෝදි සැලසුමක් ඇතුව වගා කළත් සැලසුමක් හෝ පෙර දැනුම්දීමක් නැතිව වරින් වර ඇදහැලෙන වැසි, මැසි උවදුරු, අලි කඩාවැදීම් නිසා ඊට බාධා වෙන අවස්ථා ද නැතුවාම නොවේ. එවැනි බාධා ඇතත් උදේ පිබිදුණු විගස සමාජ මාධ්‍යයේ උඩ පහළ යනවා වෙනුවට කැත්ත උදැල්ල රැගෙන ඈ යන්නේ වගාබිමටයි. 

“වගා කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. අව්කාෂ්ඨකය, මැසි මදුරු ප්‍රහාර මේ හැමදෙයක්ම ඒ වෙලාවට ඉවසන්න වෙනවා. ඒ දේවල් එක්ක වගා කරන කෙනෙක්ට උරුම දුෂ්කර ජීවිතයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි අපි ගතකරන ජීවිතය දුෂ්කර ද නැත්නම් සැපපහසු ද කියන එක තීරණය වෙන්නේ අපි හිතන විදියෙන්. මේක මගේ තෝරාගැනීම නේ. ඒ නිසා අව්වේ කරවුණත් වැස්සේ තෙමුණත් මේ ගොවිකම මට සතුටක්. ඒ වගේම සැපතක්.”


නෙත්මි තෂාරා

✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post