ලෝකයේ විවිධ රැකියා කරන මිනිසුන් සිටියත්, තමන්ගේ රූපය පවා වෙනස් වන තුරු එකම වෘත්තියක නිරත වන මිනිසුන් හමුවන්නේ ඉතා කලාතුරකිනි.
චීනයේ ගුවැන්ඩොං පළාතෙන් වාර්තා වන 48 හැවිරිදි ෂැන්ග් එවැනි සුවිශේෂී පුද්ගලයෙකි. අද වන විට ඔහු මුළු මහත් සමාජ මාධ්‍ය ජාලාවලම අවධානය දිනාගෙන සිටින්නේ ඔහුගේ අමුතුම පෙනුම නිසාය.
ෂැන්ග් වසර 30ක් තිස්සේ නිරත වන්නේ වීදුරු පිඹීමේ වෘත්තියේය. දිනකට පැය ගණනාවක් තිස්සේ දැඩි වෙහෙසක් ගෙන වාතය පිඹීම නිසා ඔහුගේ කම්මුල්වල මාංශ පේශි අසාමාන්‍ය ලෙස ඇදී ගොස් තිබේ. ඔහු හුස්ම පිට කරන විට ඔහුගේ මුහුණ මැඩියෙකුගේ මෙන් ඉදිරියට නෙරා එන නිසා බොහෝ දෙනා ඔහුට ‘මැඩි කුමාරයා’ යන නම පටබැඳ ඇත.
ඔහු මෙම අසීරු රැකියාව කරන්නේ මීටර් 1.5ක් දිග ලෝහ පයිප්පයක් ආධාරයෙනි. සෙල්සියස් අංශක 1000කට වඩා රත් වූ දියර වීදුරු පයිප්පයේ කෙළවර තබාගෙන, මුහුණේ සියලු ශක්තිය යොදා ඔහු වාතය පිඹිය යුතුය. එහි පවතින අධික උෂ්ණත්වය නිසා ඔහු බොහෝ විට සේවය කරන්නේ උඩුකය නිරාවරණය කරගෙනයි.
නූතන යන්ත්‍ර සූත්‍ර මඟින් විනාඩියකට වීදුරු කෝප්ප 45ක් නිපදවන විට, ෂැන්ග් වැනි ශිල්පියෙකුට නිපදවිය හැක්කේ කෝප්ප 6ක් පමණි. නමුත් යන්ත්‍රවලට වඩා ෂැන්ග් පිඹින වීදුරු ඉතා සැහැල්ලු වන අතර ඒවායේ දාර (rims) ඉතා තුනී ලෙස සියුම්ව නිම වේ. චීනයේ වසර 1000ක ඉතිහාසයක් ඇති මෙම කලාව රැකගැනීමට ෂැන්ග් වැනි ශිල්පීන් 35,000ක් පමණ අදටත් කැපවී සිටිති.
ෂැන්ග් පවසන්නේ තරුණ කාලයේ රැකියාවට එන විට තමාට සාමාන්‍ය මුහුණක් තිබූ බවයි. නමුත් පවුල නඩත්තු කිරීම වෙනුවෙන් වසර 30ක් පුරා කළ මේ කැපවීම නිසා අද ඔහුගේ මුහුණ බැලූනයක් මෙන් ලිහිල් වී තිබේ.
සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසන්නේ මෙය හුදෙක් විහිළුවක් නොව, පවුලක් වෙනුවෙන් පියෙකු කරන උතුම් කැපවීමක් බවයි. ‘මැඩි කුමාරයා’ යන නම ඔහුට අවමන් කිරීමට නොව, ඔහුගේ අසීමිත ශක්තියට ගෞරව කිරීමට භාවිතා කරන බව බොහෝ දෙනා පවසති.
✅✅✅✅✅✅✅✅✅✅✅
