2026 ලග්නයට අනුව ඔයාට කොහොමද කියලා දැනගන්න

 


1657 Views
උදා වුණු නව වසර ඔබේ ජීවිතයට යස ඉසුරු පිරි සුබම සුබ නව වසරක් වේවා.


මේ නව වසරේ ඔබේ අරමුණු ඉලක්ක ජය ගන්න බලාගෙන ඉන්න ඔබට මේ වසර මොන වගේ අභියෝගාත්මක වසරක් වේවිද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

මේෂ

තනතුරු, උසස්වීම් ලැබේ

රැකිරක්ෂා වලදී තනතුරු ලාභ ලැබීම්, උසස්වීම් ඇතිවෙයි. ව්‍යාපාර දියුණු වෙයි. නව ව්‍යාපාර ඇරඹීමට හේතුයි. තම තැන්පත් ධනය වර්ධනය වේ. හදිසි ලාභ ලබයි.

ගෘහ ජීවිතය ශුභාශුභ මිශ්‍ර ඵල සහිතයි. නව නිවාස ලාභ ලබයි. නිවාස අලුත්වැඩියාවකට හේතුයි. තම ඥාති මිත්‍රාදීන්ගේ උදව් උපකාර ලබයි. විදෙස් රැකියා ලාභ ලබයි. විදෙස්ගත වූවන්ගෙන් උදව් උපකාර ද ලබයි. යාන වාහන ඉඩකඩම් ලාභ ද ලබයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. මහන්සියේ තරමට ප්‍රතිඵල දායකයි. නව ප්‍රේම සබඳතා ඇතිවෙයි. විවාහ යෝග උදා කරයි. ප්‍රීතිසාද උත්සව වැනි දේවල් ද යෙදේ.

දහමට ලැදිව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන්හි යෙදේ. හදිසි රෝගවලට හේතුයි. ආමාශ ගත රෝග සාදයි. මූල රෝග භගන්දර රෝග මතු කරයි. ලේ දූෂක රෝග මතු කරයි. වසරෙහි පවතින පීඩා දුරුකර ගැනීමට බුද්ධ වන්දනා දානමානාදි කුසලවල යෙදීම හොඳයි.

මහා කතරගම දෙවි ප්‍රධානව පුද පූජා පවත්වා සෙත් ලබා ගැනීම මැනවි.

ශුභ වර්ණය – රතු – දම්, ජය අංකය – 05 – 09,

වෘෂභ

ස්වයං රැකියාවලට සුබයි

රැකියා අහිමි වූවන්ට ලාභ ලැබීම් ඇතිවෙයි. තත්ත්වයෙන් උසස් වෙයි. ස්වයං රැකියාවල යෙදෙන්නන්ට ඉතා හොඳයි. භූමි ලාභ භූමි සම්පත් ලබයි. ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි අතර අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. අවිවාහකයින්ට මංගල සීනු නාද වෙයි. තම දිවියට ඇතිවූ බාධා අලාභ වැනි දේවල්වලින් ගැළවීම සඳහා අන් අයගෙන් උදව් උපකාර ද ලබයි. නොගැළපෙන ඇසුරු නිසා තරමක් බාධා මතුවිය හැක. ඇසුර ප්‍රවේශමෙනි. උත්සව සාද වැනි දේවල් නිතර නිතර යෙදේ.

අධ්‍යාපනයෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැක. විදෙස් ගතවීමේ අවස්ථා යෙදේ. උනන්දුවේ මත ජයගෙන දෙයි. ආගමික කටයුතු පුද පූජා වතාවත් වැනි දේවල්හි යෙදේ. භූමිය පිළිබඳ කටයුතු වැනි දේවලින් භූමි ලාභ ගෙන දෙයි.

පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම මත සිත් චංචල කරයි. තරමක් අනවශ්‍ය ලෙස ධන හානි ගෙන දෙයි. තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතාවයන් මත ද වැයපස ඉහළ යයි.

සෙම් බහුලවීම් දූෂිත වීම් මත රෝග මතු කරයි. කාය ස්වාය ගෙන දෙයි. පෙනහලු ආසාදන මතු කරයි. ආහාර විෂවීම් වැනි රෝග ද මතු කරයි.

පවතින බාධා දුරුවීමට පහත පූජාවන්හි යොමුවීම හොඳයි. සිරකළ සතුන් නිදහස් කිරීම, දුගී මගී යාචකාදීන් වෙනුවෙන් දානමානාදිය දීම, කුසල බල පිහිටුවා ගැනීම, ඊශ්වර, සමන් ආදී දෙවිවරුන්ට පුද පූජා පවත්වා සෙත් ලබා ගැනීම ශුභයි.

ශුභ වර්ණය – සුදු – ලා කහ, ජය අංකය – 03 – 06

මිථුන

මනසට වදදුන් ප්‍රශ්න විසඳේ

රැකි රක්ෂාවලදී තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. වගකීම් බහුල වන අතර තම ආර්ථිකයේ දියුණුවක් දැකිය හැකි වසරකි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. අමතර ලාභ ලැබීම් ඇතිවෙයි.

ගෘහ ජීවිතය ශුභවාදීව ගෙවෙයි. ස්ථිර වාසස්ථාන ලැබීමේ ශක්තිය ඇතිවෙයි. මනසට කලක් වද දුන් ප්‍රශ්න විසඳී යයි. නව ප්‍රේම සබඳතා ඇතිවෙයි. විවාහ යෝග මතු කරයි. සතුරු බලපෑම් ධමනය කර ගැනීමේ ශක්තිය ඇති වෙයි. ඉඩකඩම් යාන වාහන ලාබ ලබයි.

අවිවාහක නම් මෙම වසර විවාහ වීමට මිථුන ලග්න කරුවන්ට ශුභයි. විවාහයෙන් පසු ද දියුණුව ඉක්මන් වෙයි. නීතිමය ගැටලු ශුභවාදීව විසඳේ.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට තරමක් අලස ගති මතු කරයි. යම් යම් බාධා එල්ල වෙයි. නමුත් උත්සාහයෙන් බාධා ඉවත්කර ගත හැක. දහමට තරමක ලොල්ව කටයුතු කරයි. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උපදෙස් උපකාර ලබයි. නව නිපැයුම් ඇරඹීමට ද මෙම වසර ඉතා ශුභයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි. මුත්‍රා ආසාදන ලේ දූෂක රෝග මතු කරයි. අස්ථි රෝග මර්දනය වෙයි. අම්ල පිත්ත රෝග වැනි දේවල් යෙදේ.

පවතින ග්‍රහ දෝෂ සමනයට බුද්ධ වන්දනා, සංඝගත දක්ෂිනා පැවැත්වීම්, මරණයට කැපවූ සතකු නිදහස් කර හැරීම, මහා විෂ්ණු දෙවි ප්‍රධාන දේව සමාගමට පුද පූජා පවත්වා සෙත් ලබා ගැනීම මැනවි.

ශුභ වර්ණය – කොළ – රන්වන්, ජය අංකය – 03 -08

කටක

රැකිරක්ෂා ලාභ ලැබීම්, පවතින රැකියාවලට වඩා වැදගත් රැකියා ලාභ ලබයි. තත්වයේ උසස්වීම් ඇති වෙයි. තැන්පත් ධනය වැය වන ක්‍රියා අමතර ලාභ ලැබීම් වැනි දේවල්වලට හේතුයි. බොහෝ කොට අරමුණු ජය ගන්නා වසරකි.

ගෘහ ජීවිතය ශුභයි. පැවති දුරස්ථ භාවයක් ඉවත් වෙයි. අඹු සැමි අවබෝධයෙන් ක්‍රියා කරයි. දෙස් විදෙස් සංචාර යෙදේ. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. නවක මිතුදම් ඇතිවෙයි. වරින් වර උත්සව සාද යෙදේ. නව නිර්මාණකරණයට ශුභයි.

සිතට සහනය ගෙන දෙන වසරකි. අමතර ලාභ ලැබීම් යෙදේ. සතුරු බලපෑම් ධමනය වෙයි. නිවාස අලුත්වැඩියා හෝ නව නිවාස ඇරඹීමට හේතුයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. නා නා දේ ඉගෙනීමත් ඉන් ප්‍රතිඵල ලැබීමටත් හැකි වෙයි. දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් සමීප වෙයි. ආගමික වතාවත් පුද පූජා ආදියහි ගෞරවයෙන් යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. භූමි ලාභ භූමි සම්පත් ගෙන දෙන වසරකි.

සෙම් රෝග සෙම් බහුල රෝග රක්තපාත රෝග වැනි දේවලට හේතුයි. මුත්‍රා ආසාදන අශ්වමරි මේහ

රෝගාදියට හේතුයි. හමේ රෝග කුෂ්ඨ රෝගාදියට හේතුයි. පවතින බාධා ජය ගැනීමට බුද්ධ ප්‍රමුඛ සංඝගත දානමානාදිය පැවැත්වීම, බෝධි වන්දනා කටයුතුවල යෙදීම, සිරකළ සතුන් නිදහස් කිරීම. සත්පත්තිනි දෙවඟන ප්‍රධානව පුද පූජා පවත්වා සෙත් ලබා ගැනීම ශුභයි.

ශුභ වර්ණය – රෝස – සුදු, ජය අංකය – 04 – 07

සිංහ

රැකියා ලාභ ලැබීම් ස්ථිර වීම් තනතුරුවල උසස් වීම් ලබයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. හදිසි ලාභ, භූමි ලාභ ගෙන දෙන වසරකි. ණය තුරුස්වලින් අත මිදේ.

ගෘහ ජීවිතය ශුභයි. ස්ත්‍රී පුරුෂයාට, පුරුෂයා ස්ත්‍රියට අවනතවීමේ ශක්තිය ඇතිවෙයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වේ. ප්‍රේම සබඳතා ඇති වෙයි. ඇති සබඳතා විවාහය දක්වා වර්ධනය වෙයි. අන් සතු දේපළ පිළිබඳ උරුමයක හේතු ගෙන දෙයි. නව නිවාස ලාභ ලබයි. විදෙස් ගතවීම් යෙදේ. විදෙස් ගත වූවන්ගෙන් උදව් උපකාර ද ලබයි.

අධ්‍යාපනයෙන් ජය ගෙන දෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල දායකයි. නා නා දේ ඉගෙන ගැනීමේ ශක්තිය ඇතිවෙයි. තරග තුරඟ ජය ගනී. සෞන්දර්ය කලාවන්ගෙන් ජය ගෙන දෙයි. ඇසුරු කරන්නන් නිසා තරමක් පීඩා මතු කරයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. භූමිය පිළිබඳ ක්‍රියාවන්ගෙන් ජය ගෙන දෙයි. සතුරු බලපෑම් යටපත් වේ. ආගමට දහමට ලැදිව ක්‍රීයා කරයි. ඒ නිසාම බාධා ඉවත් වෙයි.

මුත්‍රා රෝග, අශ්මරි රෝග, මේහ රෝග, රක්ත වාත රෝග වැනි දේවලට හේතුයි. නහර වේදනා, ස්නායු ගත රෝග මතු කරයි. මූල රෝග, භගන්දර රෝග වැනි රෝග ද මතු කිරීමට ඉඩ තිබේ.

වසරේ පවතින බාධා සමනයට පහත සඳහන් අයුරු ක්‍රියා කිරීම මැනවි. දුගී, මගී, යාචකාදීන් වෙනුවෙන් උදව් උපකාර කිරීම, බෝධි වන්දනා පූජා කිරීම, දාන මානාදි කුසල කර්ම වැනි දේවල්වල යෙදීම මැනවි.

ඊශ්වර දේව පූජා, ගණපති පූජා පවත්වා සෙත් ලබා ගැනීම මැනවි.

ශුභ වර්ණය – තැඹිලි – රෝස, ජය අංකය – 01 – 06

කන්‍යා

රැකියාවේ වෙනසකට හේතුයි. උසස්වීම් ඇතිවෙයි. රැකියා විරහිත වූවන්ට රැකියා ලැබෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් ඇතිවෙයි. හදිසි ධන ලාභ ලබන අතර තම තැන්පත් ධනය වර්ධනයට හේතු කරුණු යෙදේ.

ගෘහ ජීවිතය ශුභඵල දායකයි. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලබයි. මහජන ප්‍රසාදයට හේතු කරුණු යෙදේ. විශේෂයෙන් විදෙස් ගතවීම්වලට අවශ්‍ය කරුණු කාරණා යෙදෙයි. විදෙස් රැකියා ලාභ ලබයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. අලංකාර දේට හේතුයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තම අරමුණ ජය ගනී. තරග විභාගාදී කටයුතුවලින් ජය දෙයි. නව නිවාස ලාභ ලැබීම් හෝ නිවාස අලුත්වැඩියාවකට හේතුයි. නව ව්‍යාපාර ඇරඹීමට ශුභ වසරකි. ඇති ව්‍යාපාර දියුණුවට පත්වෙයි. ලිපි ලේඛන තුළින් ජය ගෙන දෙයි.

දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන්ද දහමට යොමු කරවයි. පෙර පින් මතු කරවන වසරකි.

හදිසි රෝග, සිරස ගත රෝග, නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. සන්ධි ප්‍රදාහ රෝග, ඉදිමුම් රෝග ද මතු කරයි. හමේ රෝග, ලේ දූෂිත රෝග ද මතු කරයි.

පවතින ග්‍රහ දෝෂ සමනයට ආශිර්වාද පූජා පැවැත්වීම, සිරකළ සතුන් නිදහස් කිරීම, සංඝගත දානමානාදි කුසල කර්මවල යෙදීම, අධ්‍යාපනයේ යෙදෙන දරුවන් උදෙසා හැකි අයුරින් උදව් උපකාර කිරීම ශුභයි.

ශ්‍රී මහා විෂ්ණු දෙවිදුන් ප්‍රධාන කර පුද පූජා පවත්වා සෙත් ලබා ගැනීම ද මැනවි.

ශුභ වර්ණය – කොළ – කහ, ජය අංකය – 03 – 06

තුලා

තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදු වේ. රැකියාවන්හි උසස්වීම් යෙදේ. වගකීම් ඇතිවෙයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ජයගත හැකි වසරකි. අන් අයගෙන් උදව් උපකාර ලබයි.

ගෘහ ජීවිතය හොඳයි. අඹු සැමි සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. ඥාති මිත්‍රාදීන් සමග සබඳතා වර්ධනය වෙයි. නව නිවාස ලාභ ලබයි. තමා කරගෙන යන ක්‍රියාවන්ගෙන් ජය ගෙන දෙයි. ප්‍රීති උත්සව සාද නිතර යෙදෙන අතර අවිවාහකයන්ට මංගල සීනු නාද වන වසරකි. සෞන්දර්ය ක්‍රියාවන් ගෙන් ජය ලබයි. ජන ප්‍රසාදයට පත්වෙයි.

අධ්‍යාපනයෙන් ජය දෙන අතර විවිධාකාර පාඨමාලා හැදෑරීමේ අවස්ථා සැලසේ. තරග තුරඟ ජය දෙයි. ශිෂ්‍යත්ව ලාභ ලබයි. නොගැළපෙන සබඳතා ඇතිවන අතර තරමක් නමට කැලල් ඇති වීමට ඉඩ තිබේ. යාන වාහන මිලට ගැනීමට විකිණීමට හැකි වේ. තරමක් ගමන් බිමන් බහුල වේ.

දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික පුද පූජා සංවිධානයට වැනි දේවලට හේතුයි. බොහෝ කොට පූජක පක්ෂය සමග සබඳතා ඇතිවෙයි.

මුත්‍රා ආසාදන ලේ දූෂක රෝග මතු කරයි. ස්නායු ගත රෝග, ඉදිමුම් රෝග මතු කරයි. සුළුවෙන් හෝ ශල්‍යකර්මවලට යොමුවෙයි.

කාස, පීනස රෝග, සෙම් අධික රෝග මතු කරයි. ආහාර විෂවීම්වලට ද හේතුයි.

පවතින බාධා ජය ගැනීමට දුගී මගී යාචකාදීන් උදෙසා සැලකීම, ගැබ්බර මාතාවන් උදෙසා ආහාර පාන, ඇඳුම් පැලඳුම්වලින් උදව් දීම, බෝධි පූජා පැවැත්වීම, සමන් දෙවිඳුට – පත්තිනි දෙවිඳුට පුද පූජා පවත්වා සෙත් ලබා ගැනීම මැනවි.

ශුභ වර්ණය – සුදු පැහැය – ක්‍රීම් පැහැය, ජය අංකය – 02 – 07

වෘශ්චික

රැකියා ලාභ ලබයි. උත්සාහයෙන් ක්‍රියා කළ යුතුය. උසස්වීම් තනතුරු ලාභවලට හේතුයි. භූමිය පිළිබඳ ක්‍රියාවන්ගෙන් ප්‍රතිඵල ශුභ දායකවෙයි. අමතර ලාභ ද ලබයි.

ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි අතර පැවති දුරස්ථ භාවයන් ඉවත් වේ. නව වසර දෙදෙනා සමීපව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. සතුරු බලපෑම් ඉවත් වෙයි. නමුත් නොපෙනෙන සතුරු බලපෑම් ඇති වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. පැවති බාධා ඉවත් වෙයි. යාන වාහන ලාභ ලබයි. ඉඩ කඩම් පිළිබඳ ගැටලු ශුභවාදීව විසඳේ.

මහන්සියේ තරමට අධ්‍යාපනයෙන් ජය ලබයි. නා නා පාඨමාලා හැදෑරීමේ අවස්ථා යෙදේ. තමන් සතු සෞන්දර්ය දක්ෂතා ඉස්මතු වෙයි. නව නිවාස ලාභ ලබයි හෝ අලුත්වැඩියාවන්ට හේතුයි. පුරුෂයන්ට ස්ත්‍රින්ගෙනුත් ස්ත්‍රින්ට පුරුෂයන්ගෙනුත් උදව් උපකාර ලැබේ. දහමට මුල්තැන දී ක්‍රියා කරන වසරකි. තම ඥාති මිත්‍රාදීන් ද දහමට යොමු කරවයි.

සන්ධි ප්‍රදාහ රෝග, කොන්දේ අමාරු මතු වේ. නේත්‍ර රෝග, මුඛ රෝග, මතු කරයි. හමේ රෝග, කුෂ්ඨ රෝග මතු කරයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතුවීමට ද ඉඩ තිබේ.

පවතින පීඩා සමනයට මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම, වැඩිහිටි නිවාසවල අසරණ වූ මව් පියන්ට උදව් උපකාර දාන මාන දීම, සිර කළ සතුන් නිදහස් කිරීම ද ගැබිණි මවුවරුන් උදෙසා දාන මානාදී ක්‍රියා සංග්‍රහ කිරීම ද කතරගම දෙවි ප්‍රධානව පුද පූජා පවත්වා සෙත් ලැබීම ශුභය.

ශුභ වර්ණය – තද රෝස – දුඹුරු, ජය අංකය – 03 – 08

ධනු

ව්‍යාපාරවල යෙදෙන්නන්ට ශුභ වසරකි. රැකියාවල ද සාමාන්‍ය ජයක් පෙනේ. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමෙන් තම අරමුණු ජයගත හැක. අමතර ලාභ, හදිසි ලාභ ලබන වසරකි.

ගෘහ ජීවිතය ශුභයි. ස්වාමිපුරුෂයා භාර්යාව අතර සමීප සහයෝගය ඇතිවෙයි. නව නිවාස ලාභ ලබයි. අන්සතු දේපළ උරුමයකට හේතුයි. භූමිය පිළිබඳ ක්‍රියාවන්ගෙන් භූමි ලාභ ලබයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. අවිවාහකයන්ට මංගල සීනු නාද වෙයි. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලබයි. විදෙස්ගත වීම්වලට හේතුයි. විදෙස් ගත වූවන්ගෙන් උදව් උපකාර ද ලබයි.

අධ්‍යාපනයෙන් ජය ළඟා කර ගත හැකි අතර අලුත් අලුත් පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථා යෙදේ. ප්‍රීති සාද උත්සව සාද යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. කෙසේ නමුත් තම ජීවිතයට අහිමි වූ සැප සම්පත් ලාභ ගෙන දෙන වසරකි. ආගමික ක්‍රියා දාමයන්ට ද යොමුවන පරහිතකාමී අදහස් ඇති කරවන වසරකි.

සන්ධි ප්‍රදාහ රෝග, ඉදිමුම් රෝග මතු කරයි. සෙම් බහුල රෝග මතු කරයි. කාස ස්වාස රෝග, පෙනහලු ආසාදන මතු කරයි. ආහාර විෂවීම් ඇතිවෙයි.

පවතින පීඩා සමනයට ශ්‍රමණ බමුණන් ගරු කිරීම, පුද පූජා දානාදී කුසල බලවල පිහිටීම, වැඩිහිටි නිවාසවල මව් පියන් උදෙසා දානමානාදී ක්‍රියාවන්හි යෙදීම, ඊශ්වර – කතරගම දේව සමාගමට පුද පුජා පැවැත්වීම ශුභයි.

ශුභ වර්ණය – රන්වන් පැහැය – කහ පැහැය, ජය අංකය – 01 – 09

මකර

රැකි රක්ෂාවලින් උසස්වීම් ලාභ ලැබීම් ඇති වෙයි. තම ව්‍යාපාර ද දියුණු වෙයි. භූමියෙන් වස්තු ලාභ ලබයි. ණය තුරුස් වලින් අත මිදෙන වසරකි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. සතුටු සාමදානයෙන් කාලය ගෙවිය හැකි කාලයකි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. අවිවාහකයන්ට විවාහ යෝග මතු කරයි. නවක මිතුදම් ඇති වේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වේ. නව නිවාස ඉඩ කඩම් ලාභ ලබයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම්වලට හේතුයි. නොගැළපෙන සබඳතා තරමක් තම නමට හානිකර වීමට හේතුයි.

අධ්‍යාපනයෙන් ජය ලබා ගත හැක. තම ඥාණය වර්ධනය වේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ශුභ දායක වේ. සෞන්දර්ය ක්‍රියාවන්ගෙන් ප්‍රසාදයට පත්වෙයි. තරමක් ආවේගශීලී ගති ඇතිවීම ශුභ දායක නොවේ. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. ආගමික වතාවත් ගරුකර ක්‍රියාකරන වසරකි. යාන වාහන ලාභ ලබයි. ඇසුරින් දුරස්ථවූවන් සමීප වන වසරකි.

සන්ධි ප්‍රදාහ රෝග, කොන්දේ අමාරු මතු වේ. සුළුවෙන් හෝ ශල්‍යකර්ම කරවන රෝගවලට හේතුයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතු කරයි. ස්නායුගත රෝග ද යෙදේ.

පවතින දෝෂ සමනයට මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම, බෝධි පූජා පැවැත්වීම, දානමානාදී කුසල කර්මවල යෙදීම, ගැබ්බර මාතාවන් උදෙසා දානදීම, ශ්‍රී මහා විෂ්ණු දෙවි ප්‍රධානව පුද පූජා පවත්වා සෙත් ලබා ගැනීම.

ශුභ වර්ණය – නිල් – තැඹිලි, ජය අංකය – 03 – 07

කුම්භ

රැකි රක්ෂා උසස්වීම්, රැකියා ලාභ ලැබීම් ඇති වෙයි. ශුභවාදීව රැකියා වෙනස් වීමට ඉඩ තිබේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. භූමි ලාභ, හදිසි ධන ලාභ ගෙන දෙයි.

ගෘහ ජීවිතය ශුභයි. සැප ගෙන දෙන වසරකි. තරමක් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. තම තත්ත්වය උසස් වෙයි. මහජන ප්‍රසාදයට පත් වෙයි. නව නිවාස ඉඩ කඩම් ලාභ ගෙන දෙයි. භූමිය පිළිබඳ රැකියාවන් ගෙන් ජය ලබයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. විදෙස් ගතවීම් ලාභ ලබයි. අමතර ලාභ ලබයි. පැවති සතුරු බලපෑම් දමනය කර ඉදිරියට යාමේ ශක්තිය ඇති වෙයි.

අධ්‍යාපනයෙන් උසස් ප්‍රතිඵල ලබයි. නව පාඨමාලා හැදෑරීමේ අවස්ථා යෙදේ. ප්‍රේම සබඳතා ඇති වෙයි. ඇති සබඳතා වර්ධනය වෙයි. උසස් මිතුරු මිතුරියන් ඇසුරට පත්වෙයි. කෙසේ නමුත් මෙම වසර සිතට සහනය ගෙන දෙයි.

දහමට ලැදිවෙයි. දානමානාදී කුසල කර්මවල මුල්වී ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් ද දහමට යොමු කරවයි.

සෙම් බහුල රෝග, කාස ස්වාස රෝග මතු වේ. සන්ධි ප්‍රදාහ රෝග, වාතාධික රෝග මතු කරයි. ලේ දූෂක රෝග මුත්‍රා ආසාදන මතු කරයි. හමේ රෝග, කුෂ්ඨ රෝග මතු කරයි. පවතින පීඩා දුරුකර ගැනීමට ශ්‍රමණ බමුණන් ගරු කිරීම, දාන මානාදී කුසල කර්මවල යෙදීම, වැඩිහිටි නිවාසවල මව් පියන් උදෙසා දාන මානාදී කටයුතු කිරීම, ශ්‍රී මහා විෂ්ණු දෙවි, බ්‍රහ්ම දෙවි උදෙසා පූජා පවත්වා සෙත් ලබා ගැනීම මැනවි.

ශුභ වර්ණය – දම් – නිල්, ජය අංකය – 05 – 07

මීන

රැකි රක්ෂාවන් දියුණු වන අතර තම ව්‍යාපාරවලින් ජයග්‍රහණ අත්වෙයි. ස්වයං රැකියාවල යෙදෙන්නන්ට මහත් ජය දෙයි. භූමි ලාභ ද ගෙන දෙන වසරකි.

ගෘහ ජීවිතය ශුභ ඵල දෙයි. අඩු භූමි සුහදතා වර්ධනය වෙයි. පැවති අඩුපාඩු නව වසරේ ඉවත් වෙයි. ඇසුරින් දුරස්ථ ඥාතීන් ද සමීප වෙයි. උත්සව සාද වරින් වර යෙදේ. තම වටිනාකම මතු කරයි. නව නිවාස ලාභ ලැබීම් ගෙන දෙයි. නිවස අලුත්වැඩියාවකට හේතුයි. උගතුන් ඇසුරට පත් වේ. ප්‍රේම සබඳතා වර්ධනය වේ. මංගල යෝග ද උදා වෙයි. යාන වාහන ලාභ ලබයි. විදෙස් ගතවීම්, විදෙස් රැකියා ලාභ ලබයි.

අධ්‍යාපනයෙන් ජය ලබයි. තරග තුරඟ වලින් ජය ගෙන දෙයි. තම අරමුණු ජය ගනී. නව ව්‍යාපාර ඇරඹීමට ශුභයි. පෙනෙන මෙන් නොපෙනන සතුරු බලපෑම්වලින් උත්සාහයෙන් ඉවසීමෙන් ජය ගත හැක. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. පරාර්ථකාමීව කටයුතු කරයි. ඉවසීමෙන් නව වසර ජය ගත හැක. සන්ධි රෝග, ඉදිවීම් රෝග මතු කරයි.

නහර ආබාධ, ස්නායු ගත රෝග මතු කරයි. සිරස්ගත රෝග, කොන්දේ ආබාධ මතු කරයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ රෝග මතු වේ.

පවතින පීඩා සමනයට ආගමික වතාවත්, බෝධි පූජාවල නිරත වීම, සංඝගත දක්ෂිණා පැවැත්වීම, ගිලනුන් වෙනුවෙන් දානමානාදිය දීම, අසරණ මිනිසුන් වෙනුවෙන් අඩු පාඩු දීම හොඳයි.

මහා ඊශ්වර දෙවි ප්‍රධානව පුද පූජා පවත්වා සෙත් ලබා ගැනීම මැනවි.

ශුභ වර්ණය – කහ – රන්වන්, ජය අංකය – 04 – 09

දිවයින පුවත්පත ඇසුරෙන්.. 

✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post