හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයක් අතරතුර, පුද්ගලයකුට පහරදුන් බව කියන කළුතර මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න නැමති අයෙකි.
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙලෙස පහරකෑමට ලක්ව ඇත. වාර්තා වන අන්දමට, මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම තරුණයා විරෝධතාවය පවත්වන ස්ථානය අසල නතර කර “බත් කන හරක් තවමත් සිටිනවාදැයි” විමසා තිබේ. ඉන් උරණ වූ සැකකාර නාගරික මන්ත්‍රීවරයා තරුණයාට පහර දී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පහරකෑමට ලක්වූ තරුණයා කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, සැකකාර මන්ත්‍රීවරයා ද තමන් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට අදාළ පුද්ගලයා බාධා කළ බව පවසමින් ප්‍රති-පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, පහරදුන් බව කියන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත.
මේ පිළිබඳව හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙවැනි සිදුවීමක් වාර්තා වී ඇති නමුත්, පහරදීම සිදුවන අවස්ථාවේදී තමන් එම ස්ථානයේ නොසිටි බවයි. කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
