නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකුට ලබාදීම සඳහා, සීනි සම්බෝල බනිස් ගෙඩි දෙකක් තුළ ජංගම දුරකථන හතරක් සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණි කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය කොළඹ 15, අලුත් මාවත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියක බව වාර්තා වේ.
බන්ධනාගාරයේ අපනශාලාවට පැමිණි මෙම කාන්තාව පිළිබඳව ඇතිවූ සැකයක් මත, ඇය රැගෙන ආ ආහාර පාර්සලය පරීක්ෂා කිරීමට නිලධාරීන් කටයුතු කර ඇත. එහිදී, එක් බනිස් ගෙඩියක් තුළ කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන දෙක බැගින්, බනිස් ගෙඩි දෙක තුළ ජංගම දුරකථන හතරක් සඟවා තිබෙනු සොයාගෙන තිබේ.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ප්‍රශ්න කිරීමේදී මෙම ජංගම දුරකථන රැගෙන ආවේ කුමන රැඳවියාටද යන්න ඇය විසින් හෙළිකර ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෙරේදා (08) දින බොරැල්ල පොලීසිය වෙත භාරදී තිබේ.
✅✅✅✅✅✅✅
