“කෘෂිකර්මය ජනපතිට දී ඇමති ගෙදර යනු” – නුවරඑළිය ගොවීන් පාරේ පොල් ගහයි.!


 මෙරට අල නිෂ්පාදනය අතිරික්තයක් පවතින අවස්ථාවලදී පවා ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් අල සහ ලූනු ආනයනය කිරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත්, උඩරට එළවළු සඳහා ස්ථාවර මිලක් නොමැති වීමෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ආදායම කඩා වැටී ඇති බවත් පවසමින් නුවරඑළියේ ගොවි සංවිධාන අද (10) උද්ඝෝෂණයක නිරත විය.

කෘෂිකර්ම විෂය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති විෂය භාර අමාත්‍යවරුන් වහාම ඉල්ලා අස්විය යුතු බවත්, එම අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙසත් බල කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය දක්වා ගමන් කළ අතර, ගොවීහු එහිදී සිය විරෝධය පළ කළහ.

“අපි වර්තමාන රජය බලයට ගෙනාවේ අපේ අයිතීන් සුරකීවි කියන විශ්වාසයෙන්. නමුත් අද වෙද්දී මේ රජය තමයි ගොවියාට ලොකුම කෙනෙහිලිකම් කරන්නේ,” යනුවෙන් උද්ඝෝෂණයට එක්වූ ගොවීහු අදහස් දැක්වූහ.

තවදුරටත් අදහස් දැක්වූ ඔවුහු, “කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිවරණ කාලෙට කලිනුත් ඇවිත් අපිට එක එක පොරොන්දු දුන්නා. ඒත් ඒ එකක්වත් ඉටු කළේ නැහැ. එතුමාට මොකක් හරි පාර්ශ්වයකින් බලපෑම් එල්ල වෙනවා ඇති කියලා අපි හිතනවා,” යැයිද චෝදනා කළහ.

උඩරට එළවළු වගා කිරීම උඩරට ගොවීන්ට පමණක් සීමා කිරීමටත්, කුඹුරු පනත නිසි ලෙස ක්‍රියාත්මක කරමින් එම ඉඩම්වල වී වගාව අනිවාර්ය කිරීමටත් කටයුතු කරන ලෙස ගොවි ජනතාව මෙහිදී යෝජනා කළහ.

තම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටි ගොවීහු, එසේ නොවුණහොත් දිවයිනේ සියලුම ගොවි සංගම් ඒකරාශී කරගෙන කොළඹ වටලන දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කිරීමට සූදානම් බවටද බලධාරීන්ට අනතුරු ඇඟවූහ.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post